Saturday, April 18, 2015

මගේ බිරිඳ 5


"ඇයි දැන් වයස කීයයි කියලද හිතන් ඉන්නේ" මා විහිලුවට මෙන් ඇසුවෙමි
"හ්ම්ම් නාකියි තමා" ඈ මට ඇද කලාය.
එතනින් පහන් සහ හන්දුකූරු මිලදීගත් අප දෙදෙන තොරණ සමීපයේ හුන් වෙලෙන්දාගෙන් ඇගේ වයසට සලියල පරිදි සුදු නෙලුම් මල් 14ක් සහ රතු නෙළුම් මල් 14 මිලදී ගතිමු. හාත්පසින් නැගෙන දැඩි අවුරශ්මියෙන් වෙහෙස අඩු කිරීමට විටින් විට විල්ලුව දෙසින් සුලන් හමන්නේය. එය ගතට මහා සහනයකි. නිහඬවම මා චෛත්‍ය දෙසට ගමන් කලෙමි. ඈ ද මා නුදුරින් පසුපසින් ඇදෙන්නීය. මල් පොකුරත් රැගෙන මා පසුපසින් ඇදෙන මට සිනා නැගුනි.
"මොකෝ හිනාවෙන්නේ" ඈ කුතුහලෙන් විමසන්නීය
"නෑ මම මේ කල්පනා කරේ ඉස්සර මම ඔයාගේ පස්සෙන් ආවා. දැන් ඔයා මගෙ පස්සෙන් එනවා. කාලයත් මාරයි නේ" සිතට නැගුණු සිතුවිල්ල එලෙසින්ම මම ඈට කීවෙමි.
" ආ එහෙමද හිතන් ඉන්නේ" ඈ සිනාවෙමින් මගේ අත මිරිකුවාය.
"පස්සෙන් ඇවිල්ලා අයිති කරගත්තට පාඩුවක් උනේ නෑනේ" ඈ නැවතත් ඇසුවාය
"කවුද පාඩුයි කීවේ. පස්සෙන් ඇවිත් අයිති කරගත්තට පාඩු නෑ. ආයේනම් කවදාවත් කාටවත් දෙන්නෑ" මම ඇගේ සුරතින් අල්ලාගතිමි
"ඉතින් ආයේ මේ පිස්සා ගාවට මිසක් කවදාවත් කා ගාවටවත් යන්නෙත් නෑ" ඈ මට ලංවෙමින් සෙහෙනසින් කීවාය.
මම ආදරෙන් ඇගේ හිස අතගෑවෙමි.
චෛත්‍ය මළුවට යනවිට එහි දහ පහලොස් දෙනෙකුට වඩා නොවීය.
"අපි මල් ටික චෛත්‍යට පූජා කරලා පහන් ටික බෝධි මළුවේ පත්තු කරමු" මම ඇයට යෝජනා කලෙමි
"හා" ඈ අනුමත කලාය
"එහෙනම් හොද ලමයා වගේ ගිහින් මල් වල නටු කඩලා ඩස්බින් එකට දාලා අර පේන ටැප් එකෙන් මල් ටිකට පැන් ඉහගෙන ඉන්න. මම මෙතන තියෙන පර මල් අයින් කරලා මල් ආසනේ සුද්ද කරන්නම්" ඈට පැවසීමි
නිහඩව සිනහවකින් එය පිලිගත් ඈ සෙමින් සෙමින් ඈතට පියමන් කලාය. මල් ආසනය සුද්ද කරන ගමන් මට ඉබේම චෛත්‍යයේ කොත බැලීමට සිත් විය. මේකෙන් බුදු රැස් විහිදෙනවා.පත්තරේ දැකපු පුවතක් මතකයට නැගුණි. අනේ අපිටත් බලන්න පින් නෑනේ. මගේ සිතුවිලි මටම දොඩවනු සේ දැනුණි.
"මොකද උඩ බලන් කල්පනා කරන්නේ" මල් වලට පැන් ඉහගෙන පැමිණි ඈ නිහඩතාවය බිදිමින් ඇසුවාය
"සෝමාවතියෙන් බුදුරැස් විහිදෙනවනේ. අපි කවදාවත් බුදු රැස් දැකලා නෑනේ. අදවත් පේනවනම්" මම කීමි
"හ්ම්ම්ම්ම්ම් එච්චර පින් කරලා නෑ අපි. එහෙනම් මෙච්චර දුක් විදින්නේ නෑනේ." ඈ හීල්ලුවාය. මගේ සිත දුකින් පිරුණි. අතීතයේ විදි දුක් ඈටත් සිහිවෙන්නට ඇත.
"ඔය මල් ටික ලස්සනට මෙතන තියන්න" පිරිසුදු කල මල් ආසනය පෙන්වමින් කීවෙමි
චෛත්‍යට මල් පුදා බෝ මළුවේ පහන් හා හඳුන්කූරු පත්තුකර පසෙක සෙවණට වී ගාථා කියමින් වැන්දෙමු.
ඈ බොහෝ වේලාවක් ගාථා කියමින් වැන්දාය. දිගු සුසුමක් හෙලා දෑස් හැර මා දෙස බැලුවාය.
"ඉවරද"
"ඔව්" ඕ සිනාසුනාය
"අද මේ මල් පහන් සුවඳ දුම් පූජා කල පින් සෑම සියළු දෙනාටම අනුමෝදන් වෙලා ඒ පින් බලෙන් මගෙ සුදු නෝනගෙ අපල දුරුවෙලා නිදුක් නිරෝගීව වාසය කරන්න ආශිර්වාදය ලැබෙන්න ඕනි" මා සෙමින් ඇගේ හිස අතගාමින් කිවෙමි.
ඈ මගෙ අතින් අල්ලා පිටි අත්ල කම්මුලේ ගෑවාය. දෑසින් කඳුලක් වැටෙනු මා දුටුවෙමි.
" ඇයි මේ දුක හිතුණද"
"නෑ ආදරේට" ඈ මගෙ උරහිසට බරවිය
මදක් නුදුරෙන් හුන් ආච්චි කෙනෙකු අප දෙස බලා ඔරවමින් හුන්නේය. මුන් මෙතනත් ඇවිත් ජවුසන් නටනවා.ආච්චිට එහෙම හිතුණාට සැක නැත
"ආන් අර ආච්චි අපි දිහා බලන් ඔරවනවා.ටිකක් එහාට වෙන්න" මම ඇයට කීවේමි
"ඉතින් අපිට මොකද වැරැද්දක් කරේ නෑනේ"

"ඒ උනාට කමක් නෑ අපි හන්දා මිනිස්සු පව් පුරවගන්න ඕනේ නෑනේ"
"හ්ම්ම්" නොකැමැත්තෙන් ඈත් විය
"සෝමාවතියේ දළදාවක් තියෙනවා කියන්නේ ඇත්තද" ඈ මගෙන් විචාලාය
"ඔව් එහෙම කියනවා" මම කීමි
"අනේ මන්දා එහෙනම් මොකටද මේ මහ කැලයක් මැද්දේ චෛත්‍යක් හැදුවේ. දලදාවක් තියෙනවනම් අනුරාධපුරේ හදන්න එපැයි" ඈ කියවගෙන යයි
"මේක ඉස්සර කැලයක් නෙවේ. ත්‍රිකුණාමල වරායෙන් රුහුණට ගිය පාර වැටිලා තියෙන්නේ සේරුවිල, සෝමාවතිය, මහියංගණය හරහානේ. දැන් කැලේ උනාට ඉස්සර මෙව්වා රජ්ජුරුවෝ ගිය පාරවල්. මම දන්නා ඉතිහාසය ඈට පැහැදුවෙමි.
"අපෝ මෙයා දන්න දේවල් යනගමන් මට කියන්න අහන්න ආසයි" මුතුවන් දසන් විදහා සිනාසෙමින් මට කීවාය.
"හා මම කියලා දෙන්නම්. මම හිතුවේ ඉතිහාසයට කැමති නෑ කියලා"
"නෑ මම හරි ආසයි. ඒ ලෙවල් කාලේ රාවණා රජ්ජුරුවෝ ගැන තීසිස් එකකුත් කලා"
"ශහ් මරුනේ"
"ඔයා දන්නවද මේ පොලොන්නරුවේ පරාක්‍රමසමුද්‍රය හදලා තියෙන්නේ රාවණගේ සියාගේ ඖෂධ උයන යට කරලා කියලා" ඈ මගෙන් විමසුවාය
"නෑනේ"
"මිරැන්ඩෝ අබේසේකරගෙ පොත් ටිකක් හොයන් කියවන්නකො. ආසා හිතෙනවා. පොත් කඩේක තිබ්බොත් මම ගෙනත් තියන්නම්. ඉස්සරනන් ගෙදර තිබ්බා. දැන් කොහෙ තියෙනවද දන්නෑ" ඈ කීය
මම කැමතිම විෂයකට ඈත් කැමතිය.
දැන් ඉතින් පාලුවක් නැත. ගමන අවසන් වෙනතුරුම ගිරවියක සේ දන්නා සියල්ලම දෙඩවීම ඇගේ පුරුද්දය.
"අපි යමුද සුදු නෝනා පාසිකුඩා යන්නත් ඕනේනේ"
"අනේ ඔව් යන්කෝ ඒත් මේ බෝ මළුව හරි සනීපයි. තව විනාඩි 5ක් ඉමුද" ඈ අයදින්නීය
"හා කමක් නෑ විනාඩි 5ක් අවුලක් නෑ"
***********************************

මඩකලපු පාර ඊතලයක් මෙනි. කාර් එකක් තිබ්බනම් හයිවේ එකේ වගේ යන්න පුලුවන්. මට එසේ සිතුනේ එක එල්ලේ කිලෝමීටර් ගණනාවක් පෙනෙන මඩකලපු පාර දුටු විටය. ගිනිගහන කාෂ්ටක අව්වේ බයික් පැදීම එපාවෙන වැඩකි. ඈටනම් අව්ව වගක්වත් නැති සේය. උරහිසට තුරුල් වී කියවමින් සිටින්නීය

ඈතින් පෙනෙන හෝටලයක නාම පුවරුවක් දුටු මට බඩගිනි සිතුවිල්ලක් පහලවිය
"බඩගිනි නැද්ද" පසුපස බලා මා විමසුවෙමි
"දැන් නම් සූට්ටක් තියෙනවා"
"එහෙනම් අර ඉස්සරහ පේන තැනින් කමු"
"හා"
**********************
"චූටි බබාට මොනවද කන්න ඕනේ" හෝටලයේ අසුන් ගන්නා ගමන් මම ඇගෙන් ඇසුවෙමි
"ම්ම්ම්ම්ම්ම්ම්ම් ෆ්‍රයිඩ් රයිස් කාලා ස්ප්‍රයිට් බොමු" දැන් තියෙන්නේ එහෙම බඩගින්නක් ඈ මගේ අතින් අල්ලාගෙන පැවසුවාය
************************
Next episode will be comming soon

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...